Tuesday, February 28, 2012


වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu


අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.
වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.
අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.
වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.
වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.
යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.
විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.
ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.
කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.
සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.
It’s just dawned on me!
This Broken Sword’s scroll isn’t about sword technique
but about swordsmanship’s ultimate ideal
…..
Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart
The swordsman is at peace with the rest of the world!
 Grand master Yip Man plays with Muk-Jong.
 Other Wu-Shu styles.



Wing Chun POWER.

 Chi-Sao drill by Grand master Yip Man and legendary Chun POWER. ultimate fighter Sijo Jun Fan Lee (Bruce Lee).

 The theme idea of Wing Chun Kung Fu.

 The direct student of G.M. Yip Man called G.M. William Chun.








Mini-documentary of 'WING CHUN: the Legacy of Ip Man'







Wing Chun-techniques demonstration video 


* මෙම ලිපියේ කතෘ අයිතිය  http://www.chamiladealwis.com/wing-chun-simple-kung-fu/ සතු වන අතර මෙහි ඇති සමහර කරුණු අප යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. කණ්ඩායමේ මතයන් හා පරස්පර විරෝධී විය හැක. නමුදු, මෙය මෙතෙක් 

වින්ග් චුන්

 සටන්කලාව පිළිබද අන්තර්ජාලයේ පල වූ හොදම ලිපිය වන නිසා අප මෙම ලිපිය අප බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කරන ලදී.

Monday, February 27, 2012

අංගම් කලාව
අංගම් කලාවමෙයින් අපට සිහියට නැගෙන්නේ අංගම්පොර යන්නයි. සරලවම කියනවානම් අංගම්පොර යනු දීර්ඝ ඉතිහාසයක් ඇති හෙළ ද්වීපයට/ශ‍්‍රී ලංකාවටම ආවේණික වූ සටන් කලාවයි. මේ පිළිබඳ නූතනයේ විවිධ මත දරන්නන් දැකිය හැක. එහෙත් අංගම් කලාවයනු කුමක්දමෙම කලාවේ ඉතිහාසය විමසීමේදී ලංකාවේ වර්තමානයේ විද්වතුන්ට හා මෙම ශ‍්‍රාස්ත‍්‍රයේ ප‍්‍රවීනයන්ට අනුවඅංගම්කලාව කියා හඳුන්වන්නේ ලංකාවට ආවේණික වූ තවත් ශ‍්‍රාස්ත‍්‍ර කිහිපයක් මේ සමග බද්ධ වූ බැවිනි. ඒවා නම් පහත සඳහන්වේ
අංගම්පොර (unarmed combat)
ඉලංගම්පොර (armed combat)
මායා අංගම් (black & white magic)
නැටුම් කලාව‍ හා බෙරවාදනය (dancing & drumming)
දේහධම්ම දේශිය වෛද්‍ය ක‍්‍රමය (herbal medicines)
ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව (astrology)
අංගම් පොර (Unarmed Combat)
‘‘ඇඟේ’’ යනු ශරීරය. පොර යනු ‘‘හටන’’ ය. ‘‘අංගම්පොර’’ යනුවෙන් අදහස් කරන්නේ‘‘ශාරීරික පොර’’ ය. ඒ අනුව ආයුධ රහිතව තම ශරීරාංගයන්ගෙන් පමණක් කරනා සටන අංගම්පොර සටන නම්වේ තවදුරටත් අංගම්පොර අනු අංග තුනකට බෙදා දැක්විය හැකිය ඵනම්
1. පොරහරඹ (offensive and defensive techniques)
2. ගැටපූට්ටු (grips and locks)
3. මරුකලාව (vital point attacks)

පොරහරඹ

පොරහරඹ (offensive and defensive techniques)
මෙහිදී සටන් ශිල්පියා මූලික වශයෙන් පහරදීම්(offense) පහර වැලකීම්(defense)අඩිමාරු(foot movements) ගමන්තාලඅත්හරඹ,පාහරඹ ආදිය පුහුණු වෙනු ලබයි.
තවද අංගම් සටන්කරුවකු පොරහරඹයකදී උකුස්සා ගේ ඇසත්”, මොණරාගේ කනත්”,“වදුරාගේ පැනිල්ලත්”,“කොටියාගේ ගමන්විලාසය හා වලසාගේ බදාගැනිමයන ශිල්ප අංගයන් එකවර භාවිතා කිරීමට පුහුණු වීම අනිවාර්යෙන් සිදුවිය යුතුය.
පොරහරඹයේදී මූලික වශයෙන් යොදාගන්නා පහරදීම්(offense) හා පහර වැලකීම්(defense) ක්‍රමවේදයන් කිහිපයක් නම් වශයෙන් පහත දැක්විය හැකිය
· දික්ගුටිය 
· චොල්ලේ පහර 
· ටොක්කේ පහර 
· ලෙන් පහර
· මිටි ගුලිය
· අත් දණ්ඩ 
· වැලි විදිල්ල
· හෙල්ලේ පාර 
ගැටපූට්ටු (grips and locks)
ගැටපූට්ටු වලටද අංගම් කලාව තුල සුවිශේෂ ස්ථානයක් හිමි වේ. තම ශරීරාංග උපයෝගි කොටගෙන ප‍්‍රතිවාදියාගේ පහර වලකා ප‍්‍රතිවාදියා තම ග‍්‍රහණයට හසු කර ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත්කිරීම මෙයින් සිදුවේ. ඒ වාගේම තමාට ප‍්‍රතිවාදියා ගැටයක් දැමූ විට එයින් ගැලවී යළි ප‍්‍රතිවාදියාට ගැටයක් දැමීමට ප‍්‍රවීන අංගම් ශිල්පීන් දැන සිටියි.
මූලික වශයෙන් යොදාගන්නා ගැටපූට්ටු ක්‍රමවේදයන් කිහිපයක් නම් වශයෙන් පහත දැක්විය හැකිය
· පිඹුරු ගැටය
· මාංචුව
· කතිර ගැටය
· අලි මාට්ටුව
· මහ මාට්ටුව
මරුකලාව (vital point attacks)
ආයුධ යොදා නොගෙන සටන් කිරීමේදි සුවිශේෂි අංගයක් වන්නේ නිල ඇල්ලීමයි. අංගම් සටනකදී මරු කලාව ඉතාම වැදගත්ය. මරු කලාව ගුරුන්නාන්සේ විසින් සෑම සිසුවෙකුටම නූගන්වයි . තමාගෙන් පරතෙරටම සටන් කලාව හදාරනු ලබන විශ්වාසවන්ත ශිෂ්‍යයා/ශිෂ්‍යයන් හට පමණක් රාවණ දෙවියන්ට පුද පූජා හා දිවුරුම්දීම් හතකින් පසු මරු කලාව උගන්වනු ලබයි.
අංගම් ශිල්පයේදි මරුකලාව නියමාකාරයෙන් භාවිතා කිරීමසඳහා ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව පිලිබඳ දැනුම අත්‍යවශය. මරුකලාවේ ප‍්‍රධාන නිල 107 ක් පිළිබඳවද කියැවෙන අතර මාරාන්තික නිල 12 ක් පිළිබඳ කියවේ. 
අංගම් සටන්ක්‍රමය තුල නිළවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර
· නිළ අල්ලා පහරදීම.
· එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
· නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
· නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
· ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
· සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
· සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
· මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.
ආදී වශයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේම පමණක් දැකිය හැකි ඉතා වැදගත් ලක්ෂණයකි.
මෙම ශාස්ත‍්‍රයේදී නිල වලට පහරදීමත් සමගම නිල වෙදකම ද සඳහන් වේ.
සටන් පුහුණු වීමේදී බොහොම ආරක්ෂා කාරි ලෙස පුරුදුවීමට ගුරුවරු ඇතුළු ගෝල බාලයින් වගබලා ගනී. එහෙත් යම් ආකාරයකන් අනතුරකට ලක් වුවහොත් ගුරුවරු නිල වෙදකම උපයෝගි කර ගනී. මෙම ශාස්ත‍්‍රයෙහි පරතෙරටම ගිය ශිල්පින් හට රෝග බොහොමයක් උදා-: කැස්සහිස අමාරුබඬේ අමාරු වැනි දැ නිල තෙරපිම මගින් සුවකිරිමට හැකියාවක් පවති. ඒ වගේම දේශිය වෛද්‍ය ක‍්‍රමයේ එන තෙල් බෙහෙත් ගුලි ද ලෙඩ රෝග සුව කිරීමට මේ ශාස්ත‍්‍රය තුල යොදා ගනි.

අංගම් ශිල්පය හා කායශක්තිය
අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් ,ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . ශාරීරිකව හා මානසිකව මනාව පුරුදුපුහුණු වූ අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . පුරාණයේ ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවුනි ඒවානම්
ඇත් දළක් මුල සිදුරු සතරක් කරවා සතර පැත්තට නෙරා සිටින සේ ලී කෑලි දෙකක් සවිකරදළේ අග්ගිස්ස පමණක් පෙනෙන සේ බිම වළලති. ඇතෙකු ලවා ඒ වඩා පාගවා තද කොට මතු වී ඇති දළ තුඩෙහි තෙල් ගල්වා එය එක් අතකින් පමණක් අල්වා දළය උඩටගන්නා ලෙස තර`ගකරුවනට අණ කරන ලදී. මෙසේ කළ එක් වතාවකදී ජයග‍්‍රාහකයා වූයේ ලෙව්කේ දිසාවේ විය.

· පස් මිටක් ගෙන එයින් දිය මතුවන සේ මිරිකාලූයේය.
· වියලි පොල් ගෙඩියක් ගෙන ඇ`ගිලි අතරින් කිරි පනින තුරු මිට මොළවා පොඩි කළේය.-කුන්ද පොරකාරයා මෙය කල බව කියැවේ

· හක්ගෙඩියක් මිටින් ගසා සුණු විසුණු කර දැමීම - කප්පාගොඩරාළ
· විශාල ගල් ඈතට විසි කළේය - කප්පාගොඩරාළ
· ගස් දෙකක් ඇඳා එකට බැඳ නැවත මුලින් උදුරා දැමීය - බෝගමුවේ රාළ
· හිසෙන් පොල් පැලීම.
· පුවක් ගෙඩිය ඇ`ගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම.
· මිනිසුන් විශාල පිරිසක් සමග සටන් කිරීම
· ඇස් අතපය බැඳගෙන සටන් කිරීම.
· පොලු අට කැඩීම
· කුළු හරක් මෙල්ල කිරීම
· පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම
ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලැබූ අභ්‍යාසවේ.
ඌරා ළිදේ අංගම් කෙටීම
ඌරා වලේ අංගම් කෙටීම යනු අංගම් ශිල්පියෙකුගේ කූඨප‍්‍රාප්තියයි. අතීතයේ රජුන්ගේ අනු දැනුම මත පැවති මෙම සටන් බොහෝ විට අවසානයේ එක් අයෙකු මරණයට පත් කරමින් හෝ දෙදෙනාටම දැඩි ලෙස තුවාල ලබමිනි. රජුගේ හුදු ආශ්වාදය හා පී‍්‍රතිය පිණිස,නිලයන් උසස් වීම් පහත් වුත් අතර පවත්වන ලදී.
අංගම් සරඹ ශාලාවේ කවර ශිෂ්‍යයකු හෝ තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්,තම මන පිළිගන්නා මෙන් සිය ගුරුවරයාගෙන් හා මුහන්දිරම් ගේ ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලූමක් ඇති වූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ.
රියන් 30ක් දික්වූද රියන් ගැඹුරුවුද ඌරාලිද නමින් හැඳින්වෙන එම වළ ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරුවන් නොදනිති.අතීතයේ දෙදෙනාගෙන් එන් අයෙකු මරණයට පත් වන තුරුම සටන පැවැත්වුවද පසු කාලයක සටන සිංහල පැයක් හෙවත් පෑතැටියෙන් ගණන් ගන්නා විනාඩි 24කට සීමා කරන ලදී.
මෙම සටන් වලදි කඩු මුගුරු යොදාගත් අතර සටනින් ජයගන්නාට හෝ දෙදෙනාටම රජුගෙන් තෑගි සහ ඉහල තනාන්තර පිරිනමන ලදී. (පණික්කිරාල,මුහණ්දිරම්,ගජනායක තනතුරු)
ඌරා වලේ සටනේදි සටනට පෙර සටන්කරුවන් දෙදෙනාම රාජභෝජන ආදී රාජ්‍ය ගෞරව ලැබෙන අතරයම් ආකාරයකින් සටන අවසානයේ යම් අයෙක් මියගියහොත් සිරුර සමගම එම වල වසා දමා එම ස්ථානය යළිත් කිසිදු වැඩකට නොගත් බවට මතයක් තිබේ.
ඉලංගම්පොර (armed combat)
ඉලංගම්පොර අංගම්කලාවට අයත් තවත් එක් අංගයකි.
ආයුධ සහිතව කරනු ලබන සටන් ඉලංගම් පොර ලෙස හඳුන්වයි.
අංගම් කලාව තුල ආයුධ 64ක් දැකිය හැක. මේවා සූසැට ආයුධ ලෙසින් හඳුන්වයි. ඒවා අතුරින් ප‍්‍රධාන ආයුධ වර්ග 5 ක් සඳහන් වේ. ඒවා නම්,
1. වක් ආයුධ
2. වක‍්‍ර ආයුධ
3. දික් ආයුධ
4. මොට්ට ආයුධ
5. කුංච ආයුධ ලෙස දැක්විය හැක.
මෙම වර්ග 5 අයත් ආයුධ වර්ග කිහිපයක් නම්වශයෙන් පහත දැක්වේ
කෙටි කඩුව
බර මුගුර
මන්නය
වේලායුධය
දිග කඩුව
කෙටි මුගුර
මෝල්ගස
දුන්න හා ඊතල
පාරා වළල්ල
යගදාව
හෙල්ලය
තෝමරය
සිරිය
කලාකිරිඤ්ඤය
පලිහ
කිණිස්ස
මඩුවලිගය
අංකිරිච්චිය
මුගුර
කෙටේරිය
කඩු ශිල්පය
කඩු ශිල්පය එදා ලක තුළ විශාලවශයෙන් ව්‍යාප්තව පැවති නිසා කඩුවට සටන් වලදී ප‍්‍රධාන තැනක් හිමි විය. විවිධ නම්වලින් යුත් නානාවිධ කඩු විශාල සංඛ්‍යාවක් තිබුණ සඳහන්වේ.
කඩු සටන් ක‍්‍රම ඉලංගම් සටන් වලදී 110 ක් පමණද වැඩ වර්ග ලෙස බෙදා දැක්වීමේදී කඩු වර්ග 28 පමණ ද දැකිය හැක. මෙහි දී තනි කඩුවකඩු දෙක,හා කඩු හතරේ හරඹය සුවිශේෂ වේ. මනා නිපුණත්වයක් සහිත කඩු සටන්කරුවෙක් හට එකවර විශාල ප‍්‍රමාණයක් හා තනිව සටන් කිරීමේ හැකියාව පවතී. කඩු හා පොලූ සටන් වලදී හිටි පිනුම්,බඩ පිනුම් හා පසු පසට ගසන පිනුම් සේම කරණම් ද භාවිත වේ.
ජනප‍්‍රවාදයට අනුව රජ සමයේ සිටි ශූර අංගම් කරුවන් සතුරාගේ හිසට ඉහළින් කරණම් ගසමින් සතුරා මරා දමා ඇත.
වේලායුධය
ඉලංගම් සටන් වලදී භාවිතා කරන අති සුවිශේෂී ආයුධයක් ලෙස ‘‘වේලායුධය’’ එතුන කඩුව හැඳින් විය හැක. මෙය සමූහ ඝාතක අවියක් ලෙස යොදා ගනී. වේලායුධයමෙයට මෙම නම යොදා ඇත්තේ එය ඇnග වටා වෙළෙන බැවිනි. මෙම ආයුධය සකස් වී ඇත්තේ අnගලක් පමණ මහත අඩි හයක් පමණ දිගින් යුතු මුවහත් වානේ පටි වලිනි.
වේලායුධයේත්තනි පටියපටි තුනපටි හය ලෙස ප‍්‍රභේද පවතී. දෑතට වේලායුධ දෙකක් ගෙන කරකවන විට එය පොළොවේ නොවදින අතර සතුරාමට කිසිසේත් ළnගට පැමිණිමට නොහැකි වේ. වේලායුධය හැසිරවිය යුත්තේ ඉතා පරිස්සමිනි. එය නිවැරදිව හැසිරවීමට නොහැකි වුවහොත් තමාටම තුවාල සිදු වීමට පුථවන.
කලා කිරිඤ්ඤයද වැදගත් ආයුධයකි. කලාකිරිඤ්ඤ එක සහ කලාකිරිඤ්ඤ දෙකේ සටන්හරඹ ද පවතී. කලාකිරිඤ්ඤය සාම්ප‍්‍රදායිකව සාදනු ලබන්නේ මී හරක් අnගක් යොදා ගනිමිනි. කලාකිරිඤ්ඤයෙන් සතුරෙකුට ගැසූ විට බොහෝ විට අස්ථි බිඳුම් වලට ලක්වන අතර පිටතින් ඇතිවන තැලීම් සුව වුවද මී හරක් අnග ඇති විෂ නිසා ඇතුළතින් පහර දෙනු ලැබූ ස්ථානය වණ වන බව කියවේ.
කිණිස්සඅංකිරිච්චියහා කෙටේරිය යන ආයුධ සඳහා ද ඉලංගම් සටන් ක‍්‍රම රාශියක් පවතී. මෙම ආයුධ වලින් සතුරා පහර දෙනු ලබන විට එය වළක්වා ප‍්‍රති ප‍්‍රහාර දෙන ආකාර රාශියක් ද අංගම් සටන් කරුවන් විසින් ප‍්‍රගුණ කර ඇත. කෙටේරියෙන් පහර දීමේදී ඇති විශේෂත්වය නම් කෙටේරි පහරක් ඇnගට ඇතුථ වූ පසු එය නැවත ගලවා දැමීමේදී ශරීරයෙන් විශාල කොටසකට හානි සිදු වීමයි.
ඉලංගම් සටන් අතර මෝල්ගස දෙකෙන් කරනු ලබන හරඹරියනෙ මුගුරු දෙකකින් කරනු ලබන හරඹ හා රියනෙ පොලූ කෑලි දෙකකින් ද කරනු ලබන හරඹ විශාල ප‍්‍රමාණයක් ඇත.



අංගම්කලාවේ ඉතිහාසයෙන් බිඳක්
රාවණ යුගය 2554-2517 කි.පෙ
අංගම් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණා රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනා කර ඇති වෛද්‍ය ග‍්‍රන්ථ තුලින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කොතරම් ප‍්‍රබලද කියතහොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු අරඹන්නේ රාවණා නිරිඳාණන් සිහි කිරිම සඳහා පහනක් පිදීමෙන් අනතුරුවය. මෙසේ අවුරුදු දහස් ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.
රාවණා රජු පිළිබඳව කිරි ඇල්ලේ ඥාන විමල හිමියන් මෙසේ පවසයි. රාමායනය නැමැති ඉන්දියානු සංස්කෘතික මහා කාව්‍යයෙහි දැක්වෙන රාවණා නම් ලංකාධිපතියා කල්පිත අධිරාජයකු නොව ක‍්‍රියාත්මක වූ පාලකයකු බව දැනට මුහුදට යටව ඇති රාවාණා කෝට්ටේ සහ වෙනත් ගවේෂණය නොකළ රාවණා ඇල්ලසීතා එළියආදී ස්ථාන පර්යේෂණයට භාජනය කිරීමෙව් දැනගත හැකි වන අතර රාවණාගේ සොහාන පවා පිරමීඩයක ආකාරයෙන් නිමවා ඇති අයුරු සොයාගත හැකිවේ යැයි.
රාවණා රජු පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ සෘණාත්මක සංකල්පයකි’ එහෙත් රාවණා රජු යනු ලෝක පුජිත රජ කෙනෙකි. අංගම් ශිල්පයෙන් උපරිම ඵල නෙලාගත් අයෙකු ලෙසද රාවණා රජුු හැඳින්වීය හැක. වර්තමානයේ ශූද්ධ අංගම් හදාරන්නන් රාවණා රජුට වැªම් පිදුම් කරනු ලබයි.
අංගම් කලාව සතු සියලූම කලාවන් මනාව ප‍්‍රගුන කළ මොහු ඒ පිළිබඳව ග‍්‍රන්ථ කීපයක්ද ලියා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එතෙක් මෙතෙක් මෙලක් දෙරණේ රාජ්‍යත්වයට පැමිණි රජවරුන් අතර අංගම් ශිල්පය ප‍්‍රගුන කල අංක එකේ අංගම් ශිල්පියා මොහුය. මොහු පමණක් නොව මොහුගේ ඇත් අස් රිය පාබල යන සියලූ යුධ සේනාංක වල හේවායන් ද අංගම් සටන් ශිල්පය ප‍්‍රගුණ කළ අය වූහ.
රාජාවලිය පවසන ලෙස රාවණා යුගය වනුයේ ක‍්‍රිස්තු පූර්ව 19 වැනි සියවසේය. එය ක‍්‍රිස්තු පූර්ව 2554 සිට 2517 අතර කාල පරාසය ව කිව හැක. රාවනා රජුගේ මරණය සිදු වූයේ කෙසේදඅපගේ සිංහල රාජ ඉතිහාසය පුරාම වරින් වර දක්නට ඇත්තේ රාජ්‍යත්වය හා බලකාමය උදෙසා පැවති පාවා දීම්ය.
ඉතිහාසය දක්වන ආකාරයට රාවණා රජතුමන්ගේ මලණුවන් වූ පිය රජතුමාගේ අන් බිසවකගේ පුත් විභීෂණ යුව රජුට සිහසුන ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව රාම කුමරු ලවා රාවණා මැරවීමේ කුමන්ත‍්‍රණයෙන් විභීෂණ ජය ගත්තේය. සොහොයුරා මරණයට පත් කල හැකි එකම ක‍්‍රමය ඔහු පමණක් දැන සිටි නිසාත්එකී රහස් රාමාට පවසා ඔහු ලවා රාවණා රජු මරණයට පත් කළත් ඉතිහාසගතවී ඇත්තේ සීතාගේ පැහැර ගැනීම නිසා රාමාගෙන් රාවණා රජු මරණයට පත් වූ ලෙසයි.
උත්තර රාමායණයට හා පැරණි ඉන්දිය ජනප‍්‍රවාදයන්ට අනුව රාමගේ බාල සොහොයුරු ලක්ෂ්මණ සටන් කලාව හදාරා ඇත්තේ රාවණා රජු යටතේය. (රාම රාවණා යුද්ධයට පෙර) රාවණා රජු අංග ලක්ෂණ විද්‍යාවට අනුව ලක්ෂ්මණ අසත්පුරුෂයකු බව දැනගෙනම ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේ යැයි සඳහන් වේ.
රාවණ යනු භාරතයේද තම අණසක පැතිරවූ රජ කෙනෙකු බවට සඳහන් වේ. රාවණා රජුට එතරම් විශාල අධිරාජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් අති ප‍්‍රබල සටන් කලාවක් අවශ්‍ය බව අවිවාදිතය. එය අංගම් විය යුතු බව අංගම් සටන් විය යුතුය.
තවමත් අංගම් ගුරුකුලයන්ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරැුකිව ඇති රාවණා සෙල්ලම යන අති ප‍්‍රබල වූත් භයානක වූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර එල්ල කරනා සටන් හරඹයක් අංගම් කලාවට රාවණා රජුගේ ඇති සබඳතාවයට සාක්ෂි දරයි.
තවත් කරුණු
පාහියන් නම් චීන භික්ෂුවගේ දේශාඨන වාර්තාවන්ට අනුව එතුම නැවත චීනයට යනවිට ලංකාවෙන් ශරීරයේ මර්මස්ථාන උපයෝගී කොටගෙන ලෙඩ සුවකරනා ශාස්ත‍්‍රයක් හා සතුරන් මෙල්ල කරනා ශාස්ත‍්‍රයක් රැගෙන ගියබව සඳහන්ය
උඩරට රජ කරන ලද සෝජාත නම් සිටු අංගම්පොර ක‍්‍රිඩාව කළ බවට රාජාවලියේ සඳහන් වේ. රාජාවලිය දක්වන ආකාරයට ‘‘උඩරට රජ කරන සෝජාත සිටු රජ අවුරුදු
පතා එවන අයබදු සේවා වැඩ කරන මිනිසුන් නේවා ප‍්‍රමාද කර අංගම් පොර ඇර ඉඳිනා ව අසා (රාජාවලිය 49 පිට) ලෙස සඳහන්ය. එම පොතේම ධර්ම පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයේම උඩරට නැවත අංගම්පොර කෙළි බව සඳහන් වේ. එකල උඩරට රජ කරන රජ තෙම සිංහාසනානු ගතව පනං රත‍්‍රන් ගස්වමින් අංගම්පොර මල්ලවපොර දැක රජ කරනා අසා’’ලෙස රාජාවලියේ විස්තර වේ. (එම 51 පිට)
දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයින් ද මෙම ශාස්ත‍්‍රයේ අති දක්ෂයින් බව කියැවේ. ඒ බව විජිතපුර සටනින් පැහැදිලි වේ.
ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේනමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට, අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේ යැයි සඳහන්වේ.
බුද්ධෝත්පත්තියට පසු කාලවකවානුවේ සිට ඈත අතීතය දක්වා ෙඓතිහාසික කරුණු පිරික්සීමේදී කලින් කල බිහිවූ අනුරපුරපොළොන්නරුවදඹදෙනියයාපහුව,කෝට්ටේගම්පොල මහනුවර ආදී රාජධානිවල තම බලපරාක‍්‍රමය පතුරුවා රාජ්‍යය මෙහෙය වු සෑම නරපතියෙක්ම ස්වකීය විජයගහණය සඳහා අංගම් සටන් භාවිතා කළ බව ඒ ඉතිහාසය දෙස හැරී බැලූවහොත් පෙනීයයි.
රාවණාපරාක‍්‍රමබාහුවළගම්බා, දුටුගැමුණු, වැනි නරපතියන් මෙන්ම දෙවැනි රාජසිංහ මායාදුන්නේ සහ සීතාවක රාජසිංහ වැනි ප‍්‍රාදේශීය නරපතියන් ද මෙම ශිල්පයේ කෙළ පැමිණි අය විය.
මහාවංශයේ දක්වන ආකාරයට නන්දිමිත‍්‍ර යෝධයා ථුපාරාමයට අගෞරව කළ දෙමලූන් මරා පලූ කල බව පවසනු ලැබේ. (මහා වංශය 23 පරි 02-03 09-11 පිට) මෙසේ පහර දීමට එකල දරුණු සටන් ශාස්ත‍්‍රයක් වි යැයි මහාවංශයට අනුව සිතිය හැක.
මේ ආකාරයට පැරණි රාජ්‍ය සමයේ ඇරඹුණා යැයි සිතිය හැකි මෙම අංගම්පොර සටන් කලාව කෝට්ටේ යුගය වන විට සමෘද්ධිමත් භාවයේ උපරිමයට ගොස් සිටියේය. ඒ මන්ද යත් මෙම යුගය වන විට මෙම සටන් ශිල්පය අංගම්පොර නමින් හැඳින්වූ අතර සුදලිය පරම්පරාවමරුවල්ලිය පරම්පරාව යන ආයතන හෙවත් ගුරු කුළ ද්ව්ත්වයක් විය. මෙම ශිල්ප ආයතන දෙකෙහි ශිල්පය එක හා සමාන වූ අතර ‘‘සුදලිය අංගම් ආයතන ප‍්‍රධානියාසුදලියේ පනික්ක රාළ’’ හෙවත් සුදලියේ මුහන්දිරම් නම් විය. මරුවල්ලියේ ප‍්‍රධානියාමරුවල්ලියේ මුහන්දිරම් හෙවත් මරුවල්ලියේ පනික්කි රාළ ලෙස හැඳින්වීය.
(සිංහල විශ්ව කෝෂය 16 පිට)
මෙම සටන් කලාවේ සිටි දක්ෂයන් කවරේද යන්න විමසීමේදී මල්ලවපොර පුහුණුව කෙරෙහි දක්වනුයේ "සම්මානනීය ලෙව්කේදිසාව" "කොණ්ඩ පොරකාරයා""බෝගමුවේ රාළ" "කප්පාගොඩ රාළ" මෙම සටන් කලාවේ දක්ෂයන් වූ බවය
(විමුක්ති, 2004 අගෝස්තු 21 පිට)
රත්වත්තේ ලෙව්කේ ගලගොඩ සහ ඇරැව්වැවේ දිසාපතිවරුන් අති දක්ෂ කඩු ශිල්පීන් වශයෙන් කැපී පෙනෙන්නෝ බව සිංහල විශ්ව කෝෂය පවසනු ලැබේ.
(සිංහල විශ්ව කෝෂය 18)
එපමණක් නොව මෑත ඉතිහාසයෙන් ගෙන හැර පාන අභීත අංගම් සටන් ශිල්පීන් අතර වීර ලෙව්කේවීර කැප්පොටිපොළවීදිය බණ්ඩාරවැනි දිසා අධිපතිවරුන් ද කුරුවිට රාළරත්වත්තේ මායාදුන්නේ වැනි වීරවරයින් ද මෙම ශිල්පයෙන් තම උපන් බිමට උපරිම සේවයක් කළ විරෝධාර පුරුෂයන් අතරට ඉතිහාස ගතවී ඇත.
සිරිලක හිරු නොබසින අධිරාජ්‍යයේ යටත්වීම හා ලන්දේසි ආගමනයක් සමග මෙම රාජ්‍ය බි‍්‍රතාන්‍ය කිරුලට යටත් වීම සමග උඩරට සේනාංක විසුරුවා හැරීම හා පසුකාලීන අංගම් පොර හදාරන්නවුන්ට දණහිසින් පහළට වෙඩි තැබීම උදෙසා නීති ප‍්‍රාකාර සකස් කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.
(දිවයින ඉරිදා සංග‍්‍රහය 2003 අපේ‍්‍රල් 03 පිට 12)
අංගම්පොර සටන් කලාව හා සම්බන්ධ පින්තූර...










* මෙම ලිපිය හා මෙහි ඇති අංගම්පොර සටන් කලාවට අයත් සියලු පින්තූරවල කතෘ අයිතිය http://angampora.blogspot.com/ සතු වන අතර මෙහි ඇති සමහර කරුණු අප යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. කණ්ඩායමේ මතයන් හා පරස්පර විරෝධී විය හැක. නමුදු, මෙය මෙතෙක් අංගම්පොර සටන්කලාව පිළිබද අන්තර්ජාලයේ පල වූ හොදම ලිපිය වන නිසා අප මෙම ලිපිය අප බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කල අතර මේ පිලිබදව අප දැනුවත් කල පියුමාල් එදිරිසිංහ සහෝදරයාට අපගේ ප්‍රණාමය!!!!