Tuesday, February 28, 2012


වින්ග් චුන් – සරල කුංග් ෆු | Wing Chun – Simple Kung Fu


අවුරුදු දහයකට පමණ පෙර බස් රථයක නැගී කොළඹ පුරවරය තුල කීපවරක් ඒ මේ අත ගොස් ඇත්නම් කරාතේ, කුංග් ෆූ, ටයිකොන්ඩෝ ආදී නොයෙකුත් සටන් කලා ශිල්ප ආයතන පිළිබඳ පෝස්ටර් අටෝ රාශියක් ඔබ දැක ඇති බව නොඅනුමානය. කාලයක් පාසැල් ක්ෂේත්‍රය තුලද ජනප්‍රියව පැවති ආත්මාරක්ෂක සටන් කලා අධ්‍යයනය, තීරණ ගන්නා පුද්ගලයින්ගේ අවක්‍රියාවන්, ක්‍රීඩාවේ අනතුරුදායක බව ආදී කරුණු හේතුවෙන් මදක් පසු බැස ඇති බවක් පෙනෙන්නට තිබේ. ගම්බදව තවමත් සටන් කලා අධ්‍යනායතනයන් පැවතුනත් නගරාශ්‍රිතව එය පරිහානියට පත්වන බවක් පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වෙතත් ජීට් කුන් ඩෝ ආදී ප්‍රසිද්ධ, වඩාත් ප්‍රදර්ශනාත්මක සටන් කලාවලට වඩා සරල, හා ජනප්‍රියතාවයෙන් නැග එන වින්ග් චුන් සටන් කලාව පිළිබඳ කෙටි හැඳින්වීමක් මෙම සටහන තුලින් ලැබෙනු ඇත.
වින්ග් චුන් ආසන්න වශයෙන් අවුරුදු තුන්සීයක් පමණ පැරණි ඉතිහාසයක් ඇති සටන් කලාවකි. සුප්‍රකට ෂඔලින් ආරමයෙන් බිහි වූ විශිෂ්ට කලාවක් ලෙස එය ලොව වටා දැන් පිලිගැනේ. පුරාවෘත්ත වලට අනුව නෙග් මුයි නම් වූ මෙහෙණින් වහන්සේ නමක් විසින් නයෙකුගේ හා කොකෙකුගේ සටනක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද වින්ග් චුන් එනමින් හැඳින්වෙන්නේ නෙග් මුයි ගේ පළමු ශිෂ්‍යාව වන යිම් වින්ග් චුන් ඇසුරෙනි. මෙම පුරාවෘත්තයේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ නොයෙකුත් අදහස් පැවතුණත් පුරාවෘත්තයේ නොයෙකුත් වෙනස් අනුවාද සියල්ලෙහිම නෙග් මුයි මෙහෙණින් වහන්සේ සහ යිම් වින්ග් චුන් පිළිබඳ සඳහන් වේ. කෙසේ වෙතත් මෙය ෂඔලින් ආරාමය ආශ්‍රිතව නිර්මාණය වූ එකක් බව පැහැදිලිය. වින්ග් චුන් යන්නෙහි තේරුම “(අමරණීය)වසන්ත කාලය” යන්නයි.
අනෙකුත් කුංග් ෆු සටන් කලා සමඟ සසඳන විට වින්ග් චුන් ඉතාමත් සරල, නිශ්චල හා ඒ සමඟ ඇති ගතික ස්වාභාවයෙන් යුක්තය. සාම්ප්‍රදායික චීන උතුරු හා දකුණු සටන් කලා පැතිරුණු භූමි ප්‍රමාණයක පැතිරුණු ඉරියව් සහ හැසිරවීම් ප්‍රගුණ කරන විට වින්ග් චුන් සටන් කරුවාගේ ශරීර සීමාව තුල ඉරියව් හැසිරවීම ප්‍රගුණ කරයි. ආරක්ෂක ඉරියව්වේදී (on-guard stance) වඩාත් නිශ්චල වන අතරම පහර දීමේදී සමීප පහරදීම, පහර වලක්වන අතරතුරම පහර දීම, හා එකවිටම මතුවන මුෂ්ටි පහර වින්ග් චුන් හි ප්‍රධාන ලක්ෂණ වේ. මීට ප්‍රතිවිරුද්ධ ලෙස බොක්සින් හෝ චීන සංෂූ සටන් ක්‍රමයේදී නිශ්චලව සිටීම අනුමත නොකරයි. පහර දී ඉවතට යෑම වෙනුවට සමීප පහර දීම් වින්ග් චුන් හි භාවිතා වේ. වින්ග් චුන් ප්‍රගුණ කරන්නන් අතර ඇති කියමනකට අනුව තමාගේ ශරීරයේ පළලට ගැලපෙන ලෙස ඉඩ ඇහිරවූ ඉඩක් තුල කිසිම බාධාවකින් තොරව සටන් කිරීමට වින්ග් චුන් සටන්කරුවාට හැකි විය යුතුය.
වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක. චී ගුන් ශ්වසන ව්‍යායාමයක් වන අතර චීන දර්ශනය තුල ඇති ප්‍රධාන සංකල්පයක් වන චී ශක්තිය (අභ්‍යන්තරික ශක්තිය) වර්ධනය කර ගැනීම එහි ප්‍රධාන අරමුණකි. ක්‍රමවත් ශ්වසන චක්‍රයකට අනුව අත් හැසිරවීම චී ගුන් හිදී සිදුවේ. චී සාවො යනු වින්ග් චුන් තුල ඇති ප්‍රධාන ව්‍යයාමයකි. වින්ග් චුන් නිසි ලෙස ප්‍රගුණ කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ චී සාවො ව්‍යායාමයයි. ශාරිරික සංවේදිතාව හා ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීම චී සාවො හි අරමුණයි. සිලියුම් තාඔ (චීන බසින් පුංචි සිතුවිල්ල යන තේරුම ඇති) ව්‍යයාමය තුල වින්ග් චුන් හි සියලුම ආකාරයේ හැසිරීම් අඩංගු වේ. විනාඩි දහයක් වැනි කාලයක් තුල සිලියුම් තාඔ ව්‍යායාම කල හැකි වුවත් වින්ග් චුන් තුල න්‍යාය සියල්ලම එය මගින් පුහුණු විය හැක.
වින්ග් චුන්, එම නමින් එතරම් ජනප්‍රිය නොවූවත් සටන් කලාව තුල වින්ග් චුන් සටන් කලාවේදීන් ඉතාමත් ජනප්‍රිය වූ බව පැවසිය යුතුය. මින් එක් අයෙකු වන්නේ වින්ග් චුන් චීනයෙන් පිටතට ගෙන ඒමේදී වැදගත් මෙහෙවරක් කල ග්‍රෑන්ඩ් මාස්ටර් යිප් මාන්ය. IP Man සහ IP Man 2 නමින් පසුගිය වසර තුල නිපදවුනු චීන චිත්‍රපටි තුලින් ඔහුගේ සටන් කලා ජීවිතය පිළිබඳ කතාව ගෙන දක්වයි. ඉතාමත් දක්ෂ වින්ග් චුන් සටන් කරුවෙකු වූ යිප් මාන් විසින් පුහුණු කරුවන ලද ශිෂ්‍යයන් පසුව වින්ග් චුන් කලාවේ උන්නතිය උදෙසා මහඟු මෙහෙවරක් කල අය වේ. 1974 දී මිය යන තෙක් යිප් මාන් වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා විය.
යිප් මාන් ගේ සිසුන් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ අයෙක් වන්නේ සුප්‍රකට චිත්‍රපටි නලු බෲස් ලීය. අවුරුදු දහසයේ සිට වින්ග් චුන් සටන් කලාව හැදැරූ බෘස් ලී හොං කොං සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ පසු සටන් කලා චිත්‍රපටි තුලින් ඉහළම ස්ථානයකට පැමිණියෙකි. වින්ග් චුන් මනාව හැදෑරීමෙන් පසුව ඔහු ජීට් කුන්ඩෝ නමින් තමාගේම සටන් කලාවක් නිර්මාණය කලේය. ඔහුගේ මරණයෙන් පසුව වුවද තවමත් ජනප්‍රියව වැජඹෙන ජීට් කුන්ඩෝ හි ආරම්භය එලෙස වින්ග් චුන් වේ.
විලියම් චුන් යිප් මාන් ගේ සිසුවෙක් වන අතරම වර්තමානයේ වින්ග් චුන් පරපුරේ ප්‍රධානියා තනතුර හොබවන්නා ද වෙයි. මොහු වඩාත්ම ප්‍රසිද්ධ වන්නේ ලොව වේගවත්ම මුෂ්ටි පහර එල්ල කිරීමේ වාර්තාව 1984දී තත්පරයට මුෂ්ටි පහර 8.3ක් එල්ල කර තැබීම සම්බන්ධයෙනි.
ලංකාව තුල වින්ග් චුන්, කරාතේ, ජීට් කුන්ඩෝ ආදී සටන් කලා මෙන් ජනප්‍රිය වී නැත. වර්තමානය වන විට ලංකාව තුල වින්ග් චුන් ඉගැන්වෙන්නේ වෙනම සටන් කලාවක් ලෙස නොව වූෂු සටන් කලාව සමඟ අමතර දෙයක් ලෙසය. අපගේ දැනුමට අනුව ජාතික වූෂු ඇකඩමිය යටතේ වූෂු පුහුණ කරවන පාසැල් තුල වින්ග් චුන් සුලු වශයෙන් උගන්වන නමුත් එයද කෙරෙන්නේ නිසි ප්‍රමිතියකින් තොරව හා පිලිවෙලකින් තොරවය. අනෙකුත් වූෂු සංගම් තුල වින්ග් චුන් පුහුණු කරවන බවක් මේ වනතෙක් වාර්තා නොවේ. කෙසේ වෙතත් ක්‍රීඩාවක් ලෙස වූෂු ලංකාව තුල පත්ව ඇති පරිහානිය සලකන විට වින්ග් චුන් පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැක. කලින් කලට වූෂු තරඟාවලි පැවැත්වූවත් වූෂු හා සංෂූ සටන් හැර වින්ග් චුන් ඒවායේ භාවිතා වන්නේ නැත. පසුගිය කාලයේ දී වූෂු ක්‍රීඩාව හේතුවෙන් ශිෂ්‍යයින් කිහිප දෙනෙක් මිය ගිය අතර එපමණින්ම වූෂු හා අනෙකුත් සටන් කලා පාසැල් හා අධ්‍යාපන ආයතන තුල තහනම් කිරීමට මුග්ධ බලධාරීන් ගත් තිරණය ද වූෂු හා වින්ග් චුන් කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව පැහැදිලිය. රග්බි ක්‍රීඩාව නිසා මිය ගිය අය (පාසැල් ශිෂ්‍යයින් පවා) ඕනෑ තරම් වාර්තා වන නමුත් රග්බි පාසැල් තුල තහනම් වූ බවක් අසන්නට නැත. සටන් කලා පිළිබඳ බලධාරීන්ගේ ඇති නොසැලකිල්ල හා ඒ පිලිබඳ වගකිව යුත්තන්ගේ ඇති නොහැකියාව මේ ක්‍රියාවලට හේතු වන බව අපගේ අදහසයි.නැතිනම් චීන ජනගහනයෙන් ඉතාමත් විශාල කොටසක් (අවුරුදු 70ත් වඩා මහලු අය පවා) පුහුණු වෙන තායි චී ද අඩංගු වූෂු ක්‍රීඩාව තහනම් වෙනතෙක් වැඩ කටයුතු සිද්ධ නොවිය යුතුය.
කෙසේ වෙතත් ලොව පුරා දැනට මිලියන 4ක පිරිසක් වින්ග් චුන් පුහුණුවේ නිරත වෙයි. විනය වර්ධනය කරවන ක්‍රීඩා අතුරින් ප්‍රධාන තැනක් ගන්නා සටන් කලා පිළිබඳ ලොව පුරා ඇති පිලිගැනීම එයයි.
සටන් කලාවක ප්‍රධාන තැන හිමිවන්නේ පහර දීම හා පහර වැලැක්වීමට වුවත් සටන් කලාවක් ප්‍රගුණ කිරීමෙන් ලැබෙන විනය හා ආධ්‍යාත්මික හික්මීම වෙනත් ක්‍රීඩාවකින් හිමි වනවා ද යන්න සැක සහිතය. සටන් ක්‍රමයක් සටන් කලාවක් වන්නේ එවිටය. චීන චිත්‍රපටියක් වන Hero තුල කඩු ශිල්පය පුහුණ කල අයෙකු පිළිබඳ පහත දෙබස් කාණ්ඩය ඇතුලත් වේ.
It’s just dawned on me!
This Broken Sword’s scroll isn’t about sword technique
but about swordsmanship’s ultimate ideal
…..
Swordsmanship’s ultimate achievement is the absence of the sword in both hand and heart
The swordsman is at peace with the rest of the world!
 Grand master Yip Man plays with Muk-Jong.
 Other Wu-Shu styles.



Wing Chun POWER.

 Chi-Sao drill by Grand master Yip Man and legendary Chun POWER. ultimate fighter Sijo Jun Fan Lee (Bruce Lee).

 The theme idea of Wing Chun Kung Fu.

 The direct student of G.M. Yip Man called G.M. William Chun.








Mini-documentary of 'WING CHUN: the Legacy of Ip Man'







Wing Chun-techniques demonstration video 


* මෙම ලිපියේ කතෘ අයිතිය  http://www.chamiladealwis.com/wing-chun-simple-kung-fu/ සතු වන අතර මෙහි ඇති සමහර කරුණු අප යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. කණ්ඩායමේ මතයන් හා පරස්පර විරෝධී විය හැක. නමුදු, මෙය මෙතෙක් 

වින්ග් චුන්

 සටන්කලාව පිළිබද අන්තර්ජාලයේ පල වූ හොදම ලිපිය වන නිසා අප මෙම ලිපිය අප බ්ලොග් අඩවියේ පල කිරීමට තීරණය කරන ලදී.

1 comment:

  1. මෙම ලිපිය ඉතා හොද මෙන්ම සාරවත් ලිපියකි.මෙය පලකළ චමිල ද සිල්වා මහතාට ස්තූතිය පුදකරන අතර මෙහි සදහන් කරුණු තුනක් පමණක් නිවැරදි වියයුතු බව මාගේ හැදීමයි. 1,මෙහි සදහන් "වින්ග් චුන් පුහුණුව තුල ඇති ව්‍යායාම් (Forms) ගණන ඉතාමත් අවමය. මෙයින් ප්‍රධාන තුනක් ලෙස චී ගුන්, චී සාවො සහ සිලියුම් තාඔ දැක්විය හැක." මෙය නිවැරදි වියයුතුය වින්ග් චුන් සටන් ක්‍රමයේ Forms තුන වන්නේ 1,සියු නිම් තාඕ(siu nim thao) 2,චම් කි්‍යු(chum kiu) 3, බියු ජී (biu jee)යන තුනයි. 2. විංග් චුන් සටන් ක්‍රමය චුෂු ක්‍රීඩාව සමග බද්ධව උගන්වනු ලබන්නේ මාස්ටර් ප්‍රසන්න ජයවීර මහතා සහ එතුමාගන් ශිල්ප උගත් කීපදෙනෙක් පමණි. ලංකාවේ විංග් චුන් පමණක් උගන්වන අයද සිටින බව සදහන් කිරීමට කැමති. 3 මාස්ටර් යිප් මාන් මියගියේ 1974 නොව 1972 දෙසැම්බර් මස 02 දා.
    වුෂු ක්‍රීඩාවේ විනාශයට දැනට සිටින සහ හිටපු සියලුම වුෂු බළධරයෝ වගකිවයුතුයි.

    ReplyDelete